--------කවියෙහි යෙදෙන අලංකාර ---------

By Sudarshani N. Kapurusinghe on Monday, July 27, 2015 at 12:00 AM

කවියක් කියවීමේ දී පාඨකයාට කුහුල දනවමින්, හේ මනස ඇද බැඳ තබා ගැනීමට සමත් මුදු “අවියකි“ අලංකාරයන්. සියබස්ලකරෙහි අර්ථාලංකාර තිසි පහක් පමණ දක්වා ඇතත්, කාව්යාලංකරණයට බෙහෙව යෙදෙන අලංකරණ විධි මෙහිලා සැකෙවින් දක්වමි.

1. උපමා අලංකාරය:-

 සම්පූර්ණ උපමාවක මූලික කොටස් 4කි.

 

1. උපමේය

2. උපමානය/උපමාව

3. සමාන ධර්ම

4. සමානත්ව වාචකය (මෙන්, වැනි ආදී නිපාත)

 

උපමාවක් අවම වශයෙන් මේවායින් කොටස් තුනකින් සමන්විත විය යුතු ය.

උදා:- "ඇගේ උවන හරියට සඳ මෙන් බැබළේ" මෙහි,

 

උපමේය: ඇගේ උවන (සම කෙරෙන ප්රස්තූතය)

උපමාව: සඳ (සම කෙරෙන ප්රස්තූතය නොවන උපමාව/උපමානය)

 සමානත්ව වාචකය: මෙන්

 සමාණාත්ව ධර්මය: ඇගේ මුහුණ සහ සඳෙහි බැබළීම “හරියටම“ සමාන බව තිරව කියා පෑම

 

කවියක මෙවැනි උපමා යෙදෙන විට එය උපමා අලංකාරය වේ.එ තුළින් කවියා තම ප්රතිභාව නිරූපණය කරන්නේ ය. ඔහු ඇසූ පිරූ අයෙකු බව දන්වන්නේ ය.කියවා රස විඳින්නාට කියා පෑමට යන දෙය පහසුවෙන් අවබෝධකරවන්නේ ය.

 

සෙනෙහසෙ සෙවණ ලැබ,ලෙස කුමරියක...සිටූ

දැඩිවිය පැතු පැතුම් සැමදින උනෙය.......ඉටූ

සුරතල් දැකිය හැක අප පෙර කලෙක......දුටූ

 පෙරළයි මිනිපිරිය හෙට නව ලොවක.....පිටූ

 (අනුර ගුණතිලක කිවිඳු - සඳැස් කව් අරණ සමුහය )

 

මෙම පැදියේ, සිටු කුමරියක ලෙසින් යනුවෙන් කවියා මිනිබිරිය සිටු කුමරියකට උපමා කරයි.

 

2. රූපක අලංකාරය:-

රූපකයක් යනු උපමාවක දී මෙන්, වැනි, ලෙස, මෙන් යනාදී සමානාත්ම වාචකයක් නොමැතිව කෙළින්ම යමක් තවත් දෙයකට සමාන කිරීමයි.

 

උදා:- මගේ දියණිය මගේ දෙනෙත ය.

මගේ දියණිය මගේ දෙනෙත වැනිය යනුවෙන් පැවසූ විට එය උපමාවකි. මගේ දියණිය මගේ දෙනෙත ය යනුවෙන් පැවසූ විට එය රූපකයකි.

 

බිළිඳෙකු වෙසින් බට අැය සුර දෙවඟ.....නකී

තුරුලෙහි මවගෙ හිඳ නිදමින් සිහින........දකී

කොයිබද ගියේ ඇගෙ මුහුණේ වෙහෙස.මැකී

මවකගෙ සෙනෙහසට මදි ලිව් සොඳුරු....වැකී

 (අනුර ගුණතිලක කිවිඳු - සඳැස් කව් අරණ සමුහය )

 

 ඉහත පැදියෙහි ඇය සුරදෙවඟනකී ලෙස දියණිය සුරදෙවඟනක් ලෙස දක්වා ඇත. සුරදෙවඟනක් වැනි යයි නිපාත පදයක් නොමැති බැවින් එය උපමාවක් නොවේ. රූපකයකි. මෙය රූපකයක් ලෙස කවියට අපූරු අලංකාරයක්එක්කර ඇති බව දැකිය හැකි ය.

 

3. ස්වභාවෝක්ති අලංකාරය:-

වස්තුවක නියම ස්වභාවය ඇති සැටියෙන් දැක්වීම මෙහි ලා ගැනේ. මෙහිදී එම ස්වභාවය වඩාත් විස්තරාත්මක ලෙසින් ඉදිරිපත් කිරීම දැකිය හැකිය.

 

නිදිනැති හැම මොහොත මත් වීලයි...ඉන්නේ

මිනියක හැඩරුවයි මුහුණෙන් ......දිස්වන්නේ

අඹුදරුවන් ගෙවති මුගෙ පව්.......කුසගින්නේ

නොදනිමි තැබෑරුමකද යළි.........උපදින්නේ

(ලෙස්ලි ධර්මවර්ධන කිවිඳු - සඳැස් කව් අරණ සමුහය )

 

4. සන්දේහ අලංකාරය:-

 

සන්දේහය යනු සැකයයි. කිසියම් සැකයක් ඇති ආකාරයකට යමක් ලිවීමයි. එය විශේෂ අලංකාරයකි.සැකයෙන් යුත්ක ව මෙය මෙසේදැ යි විමසීම මගින් අපූරු අලංකරණයක් කවියට එක්වේ.තමාට ද සැකයක් සහිත බව හඟිමින් ඒ ගැන විමසීම අපූරු

අලංකාරයක් ජනිත කරවන බව පැහැදිලි වේ.

 

සෙඳහි සිසිල පෙරිළා-ලොවම සුමුදු -ගුණයෙ කිඳී

සැඩ ගින්නෙන් දැවිලා-නපුරු රිවිදු -කිරණ විදී

මිහිලිය එය දරලා-ඉන්න නමුදු -සෙනෙහෙ දිදී

දිනක ඇයද හැරිලා-යාද සිනිඳු-සිතට රිදී

(කේ.කේ. ශ්රියානි පුෂ්පකුමාරි  කිවිඳිය - සඳැස් කව් අරණ  සමුහය)

 

සඳ ලොවට මොනතරම් සිසිලසක් ලබාදුන්නද, රිවි කිරණ වැද දැවෙයි. එවිට මිහිලිය දරා සිටිනා නමුත් දිනයක ඇයද හැරිලා යාවිද යන්න කිවිඳිය සැක සහිතව විමසයි.

 

5. අතිශයෝක්ති අලංකාරය:-

 

සීමාව ඉක්මවා, නොවන දේ පවා කියමින්, වැඩි වර්ණනාවෙන් කවියක් තුළ අලංකාරයක් ඇති කිරීම අතිශයෝක්ති අලංකරණය ලෙස දැක්වේ.මෙය ඇතැම් විට අතාත්වික වර්ණනාවන් වන්නේ ය.ඇතැම් විට රසවත් වර්ණනයක් වන්නේ ය.

 

පුළුන් රොදක ටිකක් අරන් යානාවක් අතින් වියා.

සමනල පෙති දෙකක් ගෙනත් අත්තටු ජෝඩුවක් තියා.

රබර ඇටය සවි කරගෙන බමර රෝදෙලෙසින් කියා.

නැගගෙන එහි ගුවනෙන් යමි හීන ලෝකෙ කුමරු සොයා.

(තුශාරිකා කන්නන්ගර - සඳැස් කව් අරණ සමුහය )

 

යානාවේ සුව පහසුව සාදන්නේ පුළුන් රොදක් ගෙන එය සකසාය. එයට තටු සදන්නේ  සමනල පෙති දෙකකිනි. රෝද ලෙසින් රබර ඇට සවි කරගෙන  ගුවනින් යන්නේ හීන ලෝකයේ කුමරු සොයා ගෙනයි.  කිවිඳිය අතිශයෝක්තියෙන් එය අපුරුවට වර්ණනා කර අඑති සැටියකි.

 

6. උපචාර අලංකාරය:- යමක් එහි නම පැවසීමෙන් තොරවඑහි ලක්ෂණ කියමින් විස්තර කිරීමයි. එයින් අදාළ පුද්ගලයා හෝ වස්තුව ගැන අදහස මොනවට රසික මනසේ ඇඳේ.

 

කළුම නැති මුව සුදුයි බින්දක් හිනා වුණ හැටි සිතෙහි ඇන්දත්

නිකට මැදටම පුංචි ඉන්නෙක් සරසලා හරි යසට උන්නත්

මතකෙ නැවතුන සිතුවමක් මෙන් ගැඹුරෙ ගිලි ගිලි තවම හිටියත්

ඉරණමේ විදියෙන් ඉඩක් නෑ දුරක් යන්නට හීනෙකින්වත්

(තුශාරිකා කන්නනගර - සඳැස් කව් අරණ සමුහය )

 

 

සිතෙහි ඇඳුණ මුවෙහි සිනහව, නිකට මැද ඉන්නෙක් වැනිදේ සමඟ සිතුවමක් මෙන් තැන්පත් වෙලා තිබුණත් ඉරණමට අනුව තව දුර යාමට නොහැකි බව කියන්නේ තම පෙම්වතිය සමඟ බව ඇයක් ගැන සඳහන් නොවූවද කිවිඳිය මනාකොට විස්තර කර ඇත.

 

7. ජීවිතාරෝපණ අලංකාරය:- ගහ, කොළ, මල් වැනි අප්රාණික වස්තුවකට ප්රාණය ආරෝපණය කර ඒතුලින් තම අදහස් අලංකාරවත් ලෙස දැක්වීම ජීවිතාරෝපණ අලංකාරයයි.

 

අසෙනි ගුගුරා නාද දුන්නා ලොවක් පසෙකින් දෙද්දි ...නින්දා

වැස්ස හැඩුවා කදුළු වගුරා මගේ දුක් කඳ දැනුණ ....හින්දා

සයුර ඉකිබිඳ සුසුම් සැලුවා නමුත් ඔබ නොසැලුනිද .....මන්දා

සබඳ මේ දිවිමංතෙල්දී නොසිතු ලෙස හද දෙකට....... බින්දා

(කේ.කේ. ශ්‍රියානි පුෂ්පකුමාරි කිවිඳිය - සඳැස් කව් අරණ සමුහය)

 

 

වැස්ස හැඩුවා කදුළු වගුරා, සයුර ඉකිබිඳ සුසුම් සැලුවා යනාදී ලෙසින් කිවිඳිය වැස්ස, සයුර වැනි ස්වභාවික වස්තුන්ට ජීවිතාරෝපනය කර ඇත.

 

8. දීපක අලංකාරය:-

 

යමකට හේතු යුක්ත කරුණු මතින් ඕනෑම අයෙකුට අවබෝධවන ආකාරයට යමක් විස්තර කිරීමයි. කවිය පුරාම කෙරෙන විස්තරයේ අවසාන ඵලය වන්නේ දීපකයයි.

 

උදා: රෝස මල පැහැපත්ය, ලස්සනය, සුවඳය.

 

මෙහි උපමාවක් වැන්නක් නොමැත. රෝස මල පවතින ආකාරයෙන්ම විතර කෙරේ.

 

සුදට සුදේ පිපී සැලෙන කුමුදු කැකුළු------------පුබුදුවන්න

බෝපත් සෙවනැල්ලෙන් නෙක රූ දාගැබ මත ----ඇඳෙන්න

ඉගිලෙන කිරි වවුල් රෑන සඳකැන් අතරින් ----------දකින්න

සරා සඳේ වලා මැදින් ඇවිත් හොරෙන් බලා ---------ඉන්න

(නයනේත්රි කපුරුසිංහ කිවිඳිය- සඳැස් කව් අරණ සමුහය)

 

මෙහි කුමුදු කැකුළු පුබුදුවන්නේද, බෝපත් සෙවනැලි හා සඳකැන් ඇති කරන්නේද "සරා සඳ" යි . අවසානයේ වලා මැදින් ඇවිත් හොරෙන් බලා ඉන්නා ලෙස ඉල්ලා සිටින්නේද සරා සඳෙන්ය. කවිය පුරාම එළිය දී ඇති දීපකය වන්නේ "සරා සඳ" යි. කවිය පුරා විහිදී ඇත්තේ සරා සඳේ ගුණයන්ය.

 

 

9.අවරෝහනාලංකාරය: යමක් අඩුවන හෝ බැස යන අනුපිළිවෙලින් පවසා ඇතිවිටක අවරෝහනාලංකාරය වේ.

 

හිරු සඳු ද තරු පවා ඉකිබිඳ මගෙ දුකේදී හඬපු............ හින්දා

ලොවම අඳුරුයි යළිත් කවදා මුදුන් වී සුදිලෙයිද ...........මන්දා

එවන් දිනයක නැගෙන අරුණලු බිඳක් හදවත කොනක ..රන්දා

පුංචි ගෙපැලට සුදු අසකු පිට කුමරුවෙකු එයි යන්න ...කැන්දා

(කේ.කේ. ශ්‍රියානි පුෂ්පකුමාරි කිවිඳිය - සඳැස් කව් අරණ සමුහය)

 

හිරු සඳු ද තරු පවා ආකාරයෙන් ග්රහ වස්තුවේ ප්රමානයෙන් බැසයන අනුපිළිවෙලින් දක්වා ඇත.

 

10. අරෝහනාලංකාරය:

යමක් වැඩි වන හෝ නැගී එන අනුපිළිවෙලින් පවසා ඇතිවිටක ආරෝහනාලංකාරය යනුවෙන් දැක්වේ.

 

අයියයි අප්පච්චියි අපේ මුත්තයි

නැවුම් සහල් මිටි ගෙට අර ගත්තයි

අත්තම්මයි අම්මයි ලොකු අක්කයි

අවරුදු මුළුතැන් ගේ රැක ගත්තයි

(නයනේත්රි කපුරුසිංහ කිවිඳිය - සඳැස් කව් අරණ සමුහය)

 

මෙහි "අයියයි අප්පච්චියි අපේ මුත්තයි ...." යනුවෙන් වයසින් එසේම පරපුරෙන් වැඩිවෙන ආකාරයට දක්වා ඇත. එතැන යෙදී ඇත්තේ අරෝහනාලංකාරයයි. එසේම "අත්තම්මයි අම්මයි ලොකු අක්කයි ..." යන්නෙහි බැස යන අනුපිළිවෙලට සඳහන් වීම අවරෝහනාලංකාරය වේ.

11. උත්පේක්ෂාලංකාරය:-

ස්වභාවයේ තියෙන දෙයක් වෙනත් අයුරකින් දැක්වීම නැතහොත් ස්වභාවයෙන් වන දෙයක් ලෙස සිතීමයි. එසේම යමක් එකහෙලාම නොකියා අන් අයුරකින් පැවසීම, සැකයෙන් යුතුව කීමද මෙයට අයත් වේ.

ඇමැදූ මිදුල නොකිළිටි පිරුවටයක්ය

 සුපිපුණු තුරෙන් තුර සැදි මල් වැටියක්ය

 යන එන කා නමුත් සිත තුළ සතුටක්ය

 වසනා කුඩා පැල වුව සුර මැදුරක්ය

(අසන්ති පෙරේරා - සඳස් කව් අරණ සමූහය)

ස්වභාවයෙන්ම සිදුවන සිදුවීම් සමුදායක් අසුරු කරගෙන කිවිඳිය පවසන්නේ, වසනා කුඩා පැල වුව සුර මැදුරක් බවයි.

12. භ්රාන්ති අලංකාරය:-

භ්රාන්තිය යනු රැවටීමයි. යමකට රැවටීම හඟවන පද නිසා උපදින අලංකාරය භ්රාන්ති අලංකාරයයි.

දවසක්දා මම මහරෑයාමේ සොහොනක් අසළින් යන....කලට

මීනීකනත්තේ වැනෙනව  දුටුවා උසටඋසේ මිනිහෙක්....සුදට

තනියම බයහින්දා මම තවෙකෙක් කඳවාගෙන ගියෙ එය ළඟට

අනේඅනිච්චං  සඳකැන් වැටිලා මලින් පිරුණු දැසමන්....වැලට

(ලෙස්ලි ධර්මවර්ධන කිවිඳු - සඳැස් කව් අරණ සමුහය )

පලමුව බියක් ඇතිවුවත් පසුව බැලීමේදී සඳ කැන් වැටීම නිසා දිලිසෙන සමන් වැලට මිනිසෙකු යයි රැවටුනු බව කවියා විස්තර කරයි.

13. වක්රෝක්ති අලංකාරය:-

වක්රාකාරයෙන් හෝ ව්යංගයෙන් යමක් කීමෙන් ඇතිවන අලංකාරයයි. බොහෝ විට උපහාසය හා ගැරහීමට යොදා ගනු ලැබුවත් යහපත්, සුන්දර යමක් වුවද වක්රාකාරයෙන් ඉදිරිපත් කළ හැකිය.

ගෙමිදුල අරාගෙන..වියැලුනු කොළ,ද........වැටී

 තුරුලිය මලානික....අයුරින් නිදන.............හැටී

 පවසයි යමක් මට....බැළලිය පයෙහි..........ගැටී

 හඬමින කෙඳිරියක..කඩියා නිදනු................දිටී

(අනුර ගුණතිලක කිවිඳු - සඳැස් කව් අරණ සමුහය )

පවසයි යමක් මට බැළලිය පයෙහි ගැටී, හඬමින කෙඳිරියක කඩියා නිදනු දිටී, යනාදී ලෙසින් වක්රාකාරව කවියා පවසන්නේ සතුන්ට ආහාර දීමට බිරිඳ නිවසෙහි නොමැති වීමයි.

14. සංබෝධන අලංකාරය:-

මිය ගිය වස්තු හෝ අජීවී වස්තු ඇමතීම සංබෝධන අලංකාරයයි.

පොහො දා වෙහෙර බිම හැලි සිල් සුවඳ දිගේ

 නිසලව තිබු හැඟුම් සසලව ගියෙද දඟේ

 සඟවමි කෙලෙස සිතුවිලි සසැලෙනා රඟේ

 කිව මැන සඳවතියෙ නොසඟා පෙමක අගේ...

(අසන්ති පෙරේරා - සඳස් කව් අරණ සමූහය)

"කිව මැන සඳවතියෙ නොසඟා පෙමක අගේ...." කිවිඳිය සඳවතියගෙන් පැනයක් නගයි.

15. ව්යාජෝක්ති අලංකාරය:-

පැසසුමක් කරන බව පෙන්වා ගැරහීමක් කරන අතරම එය ව්යාජ උක්තියකට එනම් ව්යාජෝක්තියකට හරවයි. එකම පදයකින් හෝ පද  මාලාවකින් අරුත් කීපයක් දීමද මෙම අලංකාරයේ ලකුණකි. පිටතින් පෙනෙන දෙයට වඩා ව්යාජ දෙයක් හෝ කෙනෙකු බව පවසයි.

ගැනුමට උදවු එති දත් තිස් දෙක පෙන්නා

නැවිලා දෙක තුනට යාචක වෙස් පෙන්නා

ගුණ මකු දනන් මෙහි අප අතරම ඉන්නා

කාරිය කෙරුනු පසු යයි පස්සත් පෙන්නා

(තරංග සිල්වා- සඳැස් කව් අරණ සමුහය )

ගැනුමට උදවු එති දත් තිස් දෙක පෙන්නා, නැවිලා දෙක තුනට යාචක වෙස් පෙන්නා, පෙමිනෙන නමුත් අවසානයේ පස්සත් පෙන්නා යන බව ප්රකාශ කරයි.

16. අප්නුහති අලංකාරය:-

අපහ්නුතිය යනු ප්රතිශේධය හෙවත් වැලකීමයි. නැත, නොවේ යන්න සමඟ එය නොවේ මෙයයි ලෙසින් කීම, යමක් වලකා යමක් තිරකර කියා සිටීම, යමක් ප්රස්තූතය  කොට අප්රස්තූතය බවම තවත් ලෙසකින් කීම මේ යටතේ ගැනේ.

උදා 1 :- ඇය සිරිදුව නොවේ:

මෙයින් හැඟවෙන්නේ ඇය සිරිදුවට සමාන ආකාරයකි. නැතහොත් පවසන්නාට ඇය සිරිදුව බව පැවසීමේ ඕනෑකමක් ඇති බවකි.

උදා 2 :-අම බොදුන් නොවේ.

අම බොදුන් තරමට රසවත් බවකි. එහෙත් අම බොදුන් නොවේ.

කොවුල් හඬට ගම්මැද්දේ අද කෝ අවුරුදු සද්දේ

රතු පාටට එරබදු මල් පිපිලා නෑ ගම් මැද්දේ

කජු පුහුලන් පැනි මොර ගෙඩි ඉදිලා නෑ උඩ බැද්දේ

ගමේ ළමෝ එකතු වෙලා ඔංචිල්ලා නෑ බැන්දේ

(තරංග සිල්වා- සඳැස් කව් අරණ සමුහය )

මල් පිපිලා නෑ, මොර ගෙඩි ඉදිලා නෑ, ඔංචිල්ලා නෑ යනුවෙන් පවසන්නේ එසේ තිබිය යුතුයි හෝ එසේ වුවා නම් මැනවයි  යන්න කවියාට පැවසිය යුතුවූ  නිසාය.

 

උපුටා ගැනීම: ~~ නයනේත්රි කපුරුසිංහ ~~ Facebook

සම්පූර්ණ අයිතිය මුල් අයිති කරු සතු